Wednesday, April 26, 2017

2016 මහ බැංකු වාර්තාව නිකුත් වේ!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2016 වසර සඳහා අදාළ වාර්ෂික වාර්තාව අද දින නිකුත් කර තිබේ. මේ එහි අඩංගු කරුණු වල ඉතාම කෙටි සාරාංශයකි.

-පසුගිය වසරේ මූර්ත ආර්ථික වර්ධනය 4.4%ක මන්දගාමී එකකි.
-වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 4%කි. උද්ධමන පීඩන මතු වෙමින් පවතී.
-රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 3,835 දක්වා අඩුවී තිබේ.
-සේවා වියුක්ති අනුපාතය 4.4% මට්ටමට අඩුවී තිබේ.
-වෙළඳ හිඟය ඇමරිකන් ඩොලර් 9,090 දක්වා ඉහළ ගොස් තිබේ. අපනයන අඩුවීම හා වසරේ අවසන් කාර්තුව තුළ ආනයන විශාල ලෙස ඉහළ යාම මීට හේතු වී තිබේ.
-රුපියල අඩු මට්ටමක තබා ගැනීම සඳහා මහ බැංකුව විසින් වසර තුල ඇමරිකන් ඩොලර් මිලියන 768ක සංචිත විකුණා තිබේ. වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ සංචිත වත්කම් ඩොලර් බිලියන 6.0 දක්වා පහත වැටී තිබේ.
-රජයේ විදේශීය ණය ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ විදේශ ණය ප්‍රමාණය වසර තුළ ඩොලර් බිලියන 44.8 සිට 46.6 දක්වා ඉහළ ගොස් තිබේ.
-රජයේ බදු ආදායම 8%කින් ඉහළ ගොස් තිබේ.
-රජයේ පුනරාවර්තන වියදම් 3.3%කින් ඉහළ ගොස් තිබේ.
-රාජ්‍ය ආයෝජන 1.5%කින් පහළ ගොස් ඇත.
-රජයේ අයවැය හිඟයෙන් වැඩි ප්‍රමාණයක් (61.2%ක්) විදේශීය මූලාශ්‍ර වලින් මූල්‍යනය කර තිබේ.
-මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 79.3% දක්වා ඉහළ ගොස් තිබේ.
-වසර අවසානය වන විට මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,387.3 දක්වා ඉහළ ගොස් ඇත.
-දේශීය ණය රුපියල් බිලියන  5,341.5 දක්වා 7.7%කින්ද, විදේශීය ණය රුපියල් බිලියන 4,045.8 දක්වා 14.2%කින්ද ඉහළ ගොස් ඇත.
-වසර තුළ සංචිත මුදල් 27.1%කින් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. සංචිත මුදල් වැඩිවීම යනු මහ බැංකුව විසින් අළුත් සල්ලි එළියට දැමීමයි.

ඉඩ ලැබෙන පරිදි මේ එක් එක් කරුණ ගැන ඉදිරියේදී කතා කරමු!

15 comments:

  1. /සංචිත මුදල් වැඩිවීම යනු මහ බැංකුව විසින් අළුත් සල්ලි එළියට දැමීමයි/ අච්චු ගහල දානවද? සංචිතවල තිබ්බ එව්ව එළියට දානවාද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්නේ සංචිත ලෙස ඇති මුදල් එළියට දමන එක තමයි. නෝට්ටු මුද්‍රණය කර මහ බැංකුවේ තියාගත්තා කියා ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නැහැ. මහ බැංකුවේ තිබෙන තුරු මුදල් නෝට්ටු කඩදාසි හා සමානයි. ඒවා එළියට දැමූ විටයි රටේ මුදල් සැපයුම වැඩි වුන ලෙස සලකන්නේ. නිකම්ම එළියට දානවාත් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් හෝ වෙනත් යමක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමයි වෙන්නේ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ ගෙවන්නේ කිසිවකු විසින් උපයාගත් මුදල් නොව මුද්‍රණය කළ මුදල් වීමයි.

      Delete
  2. බැඳුම්කරයෙන් රජයට පාඩුව කෝටි 1000ක්‌
    - මහ බැංකු හිටපු නි. අධිපති ඩබ්. ඒ. විඡේවර්ධන

    ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

    තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද විඡේවර්ධන මහතා කොමිසමට කීවේය.

    2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ තීරණයට නොගොස්‌ බිලියන 10 කට ලංසු පිළිගත් නිසා මේ පාඩුව සිදුවූ බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ක්‍ෂණික අලාභය සහ තිස්‌ අවුරුදු පාඩුව සිදුවූ ආකාරය තමා ගණනය කළ ක්‍රමවේදය ද කොමිසමට පැහැදිලි කළේය.

    අදාළ වර්ෂ 30 ක කාලය තුළ සියයට 12.5 ක ඉතා ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවීම නිසා රු.කෝටි දහසක පාඩුවක්‌ සිදුවන බව තමා ගණනය කළ බවද පැවැසූ හෙතෙම 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන දහයකට අධික ලංසු පිළිගැනීම නිසා රජයට සිදුවූ පාඩුව ගණනය කළ ලේඛනය ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.

    එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

    ReplyDelete
    Replies
    1. ඔච්චර දස්සයට මහබැංකු අධිපති කම නොදුන්න එකම ඇවිල්ල කුමන්ත්‍ර‍ණයක්, එදා ඒයාට ඒක දුන්න නම් ලංකාව ආයේ කාටවත් ණය වෙන්නෙම නෑ. ඔයි වගේ මොලේ තියන විද්වතුන්ට රට හදන්න තැන දෙන්න නම් ජෙප්පොම එන්න වෙනවා,

      Delete
    2. //එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.//
      මේ ක්‍රමවේදය මමත් දැනගන්න කැමතියි. එහෙත් අදාළ පුවත්පත් වාර්තාවේ හෝ වෙනත් තැනක එය දකින්න නැහැ.

      Delete
  3. දල දේශිය නිශ්පාදිතය (අඩුවීම) ඇමරිකන්් ඩොලර්වලින් දැක්වීමත් , විදේශ ණය (වැඩිවීමේ) ප්‍රතිශතය රුපියල්වලින් දැකිවීමත් මොන නිර්නායකයක් අනුව සිදුවන්නක් ද ?

    ReplyDelete
    Replies
    1. ඔබට මෙහි කිසියම් අවුලක් පෙනෙනවානම්, එය මහ බැංකු වාර්තාවේ ඇති විශාල සංඛ්‍යාලේඛණ ප්‍රමාණයෙන් මා විසින් කරුණු උපුටාගෙන සාරාංශගත කිරීමේදී සිදුවී ඇති දෙයක්. මහ බැංකු වාර්තාවේ මේ ගණන් රුපියල් වලින් වගේම ඩොලර් වලිනුත් තිබෙනවා. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් වලින් බැලීම ඇතැම් කරුණු ගැන සාකච්ඡා කිරීමේදී වැදගත් වුනත් වසර දෙකක් සැසඳීමේදී එය එතරම් හොඳ නිර්ණායකයක් නෙමෙයි. උද්ධමනය සැලකිය යුතු මට්ටමක ඇති විට එයින් වැඩිපුරම පෙනෙන්නේ උද්ධමනය නිසා රුපියලේ අගය පිරිහීමේ බලපෑමයි. වේගයෙන් අගය නොපිරිහෙන ඇමරිකන් ඩොලර් වලින් මේ අගයයන් සැසඳීමත් නිවැරදිම සැසඳීමක් නොවුණත් එය රුපියල් අගයයන් සැසඳීම තරම් නරක සැසඳීමක් නෙමෙයි. ඒ වගේම එය ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවත් බොහෝ විට සිදු කෙරෙන්නක්.

      විදේශ ණය වැඩි ප්‍රමාණයක් ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් (හෝ වෙනත් විදේශ මුදලකින්) නිසා රටේ විදේශ ණය ගෙවීම සැලකූ විට ඇත්තටම වැදගත් වන්නේ ඩොලර් අගයයි. ඩොලරයේ අගය වෙනස්වීම නිසා ණය වැඩිවීම වෙනම කරුණක්. මෙහි ඩොලර් වලින් වැඩිවීම මුලින්ම උපුටා දමා තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 4%ක පමණ වැඩිවීමක්. ලිපිය ලියන විට මහ බැංකු වාර්තාවේ තිබුණු දේ උපුටා ගනු හැර මම ගණන් හැදීමක් කළේ නැහැ. ඒ අතරම, රජය විසින් ආදායම් උපදවන්නේ රුපියල් වලින් නිසා විදේශ ණය ගෙවන්න ඩොලර් වලට මාරු කරන්න වෙන්නේ බදු ලෙස උපයන රුපියල්. ඒ නිසා, රජයේ සමස්ත ණය බර ගැන කතා කිරීමේදී රුපියල් වලින් දේශීය හා විදේශ ණය වැඩිවීමත් සැලකිය යුතු දෙයක්. දේශීය ණය වැඩිවීම රුපියල් වලින් හා විදේශ ණය වැඩිවීම ඩොලර් වලින් දැක්වූ විට මුළු ණය ප්‍රමාණයේ වැඩිවීම පැහැදිලි වන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් දේශීය ණය රුපියල් හා විදේශ ණය ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල්) වලින් ගත් ණය ලෙස සැලකුවත් යම් තරමකින් එහි අනිත් පැත්තත් වෙනවා. දේශීය ඩොලර් ණය හා විදේශීය රුපියල් ණයත් තිබෙනවා.

      Delete
  4. මේක යථා තත්වයට වඩා වෙනස් වාර්තාවක් වෙන්නැද්ද ඉකෝ?

    ReplyDelete
    Replies
    1. මහ බැංකු වාර්තාව විශාල පිරිසක් එකතු වී කාලයක් මහන්සි වී කරන ආයතනික කටයුත්තක අවසන් ප්‍රතිඵලය නිසා ඒ කිසිවක් නොකර පැත්තක සිටින මා වැනි කෙනෙක් එය යථා තත්ත්වය සමඟ නොගැලපෙන බව නිකම්ම කියන එක නිවැරදි නැහැ. වැරැද්දක් ඇත්නම් අහුවන තුරු එහි ඇති සංඛ්‍යාලේඛණ නිවැරදි ලෙස සලකන්න මම කැමතියි.

      Delete
    2. හිතාමතා විස්තර වෙනස් කරන්න පුලුවන් නේද???

      Delete
    3. විශාල පිරිසක් එක්ව කරන කටයුත්තක් නිසා එය ඉතාම අමාරුයි. ඒත්, දැන් බැඳුම්කර කොමිසමට මහබැංකු නිලධාරීන් ලබාදෙන සාක්ෂි දෙස බැළුවහම එවැනි ඉඩක් ඇත්තේම නෑ කියන්නත් බැහැ.

      Delete
  5. "මහ බැංකුව විසින් අළුතින් සල්ලි එලියට දැමීම" කියන්නනේ සල්ලි අචිචුගහනවා කියන කතාව නේද?
    //වසර තුළ සංචිත මුදල් 27.1%කින් විශාල ලෙස ඉහළ ගොස් තිබේ//
    27.1% ගනනය කරන ආකාරය ගැන ඔබට පැහැදිළිකල හැකිද?

    ReplyDelete
    Replies
    1. සංචිත මුදල් එසේත් නැත්නම් පදනම් මුදල් හෝ මුදල් පදනම කියා කියන්නේ රටක මුදල් සැපයුම වෙනස් වන ක්‍රියාදාමයේ මූලික එහෙම නැත්නම් පදනම් පියවර හා අදාළ මිනුමක්. සංචිත මුදල් වැඩි වූ විට රටේ පටු මුදල් සැපයුම හා පුළුල් මුදල් සැපයුම ලෙස අර්ථ දක්වන නිර්නායකත් වැඩි වී රටේ මිල මට්ටම ඉහළ යාමට විශාල ඉඩකඩක් තිබෙනවා.

      සංචිත මුදල් යනු ඇස්තමේන්තු කිරීම අවශ්‍ය නොවන, අන්තිම සතයටම හරියටම මැනිය හැකි දෙයක්. අවශ්‍ය තොරතුරු සියල්ල මහ බැංකුවේ ශේෂ පත්‍රයේ තිබෙනවා. මෙතැන 27.1% කියන්නේ 2016 වසර තුළ සංචිත මුදල් වැඩි වීම. ප්‍රමාණාත්මකව මේ වැඩිවීම රුපියල් බිලියන 673.4 සිට 856.1 දක්වා රුපියල් බිලියන 182.7ක වැඩි වීමක්.

      සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක දෙවිදිහකට විස්තර කළ හැකියි. ඒ, (දළ අදහසක් ලෙස) මහ බැංකුවේ වත්කම් හා වගකීම් ලෙස. දෙපැත්තම සමානයි.

      වගකීම් ලෙස සැලකුවොත් සංචිත මුදල් කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාසි හා නෝට්ටු වල මුහුණත වටිනාකමේත්, මහ බැංකුව සතුව ඇති වාණිජ බැංකු වලට අයිති තැන්පතු වලත් එකතුව. රුපියල් බිලියන 182.7ක වැඩිවීමෙන් රුපියල් බිලියන 61.1ක් කාසි හා නෝට්ටු වැඩිවීම් වන අතර ඉතිරි රුපියල් බිලියන 121.5 වාණිජ බැංකු වල තැන්පතු වැඩි වීම්. වාණිජ බැංකුවකට සතියේ වැඩකරන ඕනෑ වෙලාවක මහ බැංකුවට පැමිණ තමන්ගේ තැන්පතු වෙනුවට කාසි හෝ නෝට්ටු ලබාගත හැකි (හෝ කාසි හා නෝට්ටු මහ බැංකුවේ තැන්පත් කළ හැකි) නිසා ආර්ථිකයට ඇති බලපෑම අනුව මේ දෙවර්ගයේ වැඩි වෙනසක් නැහැ.

      වත්කම් ලෙස සැලකුවොත්, මහ බැංකුව සතු විදෙස් වත්කම් හා දේශීය වත්කම් වල එකතුව. දේශීය වත්කම් යනු බොහෝ දුරට මහ බැංකුව විසින් රජයට ලබාදෙන ණය. පසුගිය වසර තුළ මහ බැංකුව විසින් විදෙස් සංචිත විකිණීම නිසා රුපියලේ අගය අඩුවී තිබියදී වුවත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 17.6කින් (-3.1%කින්) අඩුවී තිබෙනවා. එහෙත් දේශීය වත්කම් රුපියල් බිලියන 200.3කින් (206%කින්) වැඩි වී තිබෙන නිසා සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 182.7කින් ඉහළ ගොස් තිබෙනවා.

      2016 වසර තුල මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 183.1ක් වන අතර එය වසර තුළ සිදුවූ සංචිත මුදල් වැඩිවීමට ඉතාම ආසන්නයි පමණක් නොව ඇත්තටම තරමක් වැඩියි. මෙසේ රජය විසින් මහ බැංකුවෙන් ණයට ගන්නා මුදල් රජය, මහ බැංකුව හෝ වෙනත් අයෙකු විසින් කිසියම් නිෂ්පාදනයක් කිරීමෙන් උපයන ලද මුදල් නෙමෙයි. (මෙයට සාපේක්ෂව බදු මුදල් කියන්නේ කවුරු හෝ විසින් උපයන ලද මුදල්) නමුත්, රජය විසින් මහ බැංකුවෙන් ලබාගත් මේ "අළුතින් මුද්‍රණය කළ" මුදල් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා වියදම් කරනවා. එහෙත් නිෂ්පාදනයේ වෙනසක් නොවන නිසා, රටේ නිපදවෙන භාණ්ඩ හා සේවා වලට ඇති තරඟය වැඩිවී මිල ඉහළ යනවා.

      Delete
  6. බොස්,
    රුපියල අවප්‍රමානය වීම ගැන මොනවා හෝ විග්‍රහයක් මේ වාර්තාවේ තිබේද?

    ReplyDelete
    Replies
    1. වසර තුළ රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 144.06 සිට 149.80 දක්වා (3.9%කින් පමණ) පිරිහී තිබේ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.