Wednesday, April 27, 2016

ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති


ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.




රූපසටහන ලෙස බැලූ විට, නිදහසින් පසු සෑහෙන කලක් යනතුරුම එජාප ප්‍රධාන වූ ආණ්ඩු යටතේ ආර්ථික වර්ධනය ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු යටතේ වූ වර්ධනයට සාපේක්ෂව කැපී පෙනේ. පසුගිය දශකය මුල පමණ දක්වා පිළිගැනුණු රටේ ආර්ථිකයට හොඳ එජාප ආණ්ඩු බවට වූ ජනප්‍රිය අදහස සමඟ මෙය ගැලපේ. මේ වෙනසට පදනමක් විය. මුල් කාලයේදී එජාප ආර්ථික ප්‍රතිපත්ති වඩා නිදහස් වූ අතර ශ්‍රීලනිප බොහෝ විට අනුගමනය කළේ ජාතිකවාදී, ආරක්ෂනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. මුල්කාලීන එජාප රජයයන් යටතේ සිදුවී ඇති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය එම පක්ෂය අනුගමනය කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයකි.


කෙසේවුවද, පසුකාලීනව ශ්‍රීලනිප ප්‍රතිපත්තියද නිදහස් වෙළඳපොළ දෙසට යොමුවූවක් ලෙස වෙනස් වීමත් සමඟ පක්ෂ දෙක අතර කලක් තිස්සේ පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස මෙන්ම මේ එක් එක් පක්ෂ වල පාලනයන් යටතේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වෙනසද ක්ෂය විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ.

වත්මන් රජයට මේ සාමාන්‍යය ඉක්මවීමට හැකියාවක් ඇත්දැයි තීරණය කිරීමට ගත වූ වසරක කාලය ප්‍රමාණවත් නැතත් එවැනි ශක්‍යතාවක් මේ වන තුරුනම් ප්‍රදර්ශනය කෙරී නැත. අනෙක් අතට දැන් පවතින්නේ එජාප රජයක්ද යන්නත් පැහැදිලි නැත.


(Image: sltoday.lk)

Tuesday, April 26, 2016

2015 මහ බැංකු වාර්තාව එළි දකී!


පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.

(Image: www.cbsl.lk)

Sunday, April 24, 2016

අපනයන ආදායම් රට තුළට ගෙන එන්නට දින අනූවක කාලසීමාවක්



මහ බැංකු පුවත් නිවේදනයක් අනුව, මුදල් ඇමතිවරයා විසින් අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සම්බන්ධව 1993 මාර්තු සිට පැවති නිදහස් කිරීමක් අවලංගු කර තිබේ. මේ අනුව, 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිට රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය.

මේ තීරණය විදේශ අංශය තුළ රජය මුහුණ දෙන අර්බුදයේ පැතිකඩකි. මේ වන විට අපනයනකරුවන් සිය ආදායම් රට තුළට රැගෙන ඒම ප්‍රමාද කරමින් සිටින බව හෝ අඩු වශයෙන් රජය එසේ සිතන බව පෙනේ. රුපියල ඉදිරියේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට නියමිත බව පෙනේනම් විදෙස් විණිමය අත ඇති අයෙකු ඒ මුදල් රුපියල් වලට හරවන්නේ නැත. එසේ නොකර ඩොලර් හෝ වෙනත් ශක්තිමත් විදෙස් මුදලක් ලෙසම තබා ගත්විට ඉදිරියේදී වැඩි රුපියල් ගණනක් ලබා ගැනීමට ඉඩ සැලසෙන බැවිනි.

කෙසේවුවද, අළුත් ගැසට් නිවේදනය අනුව අපනයන ආදායම් රට තුළට රැගෙන විත් විදෙස් ව්‍යවහාර මුදල් වශයෙන්ම දේශීය බැංකු ගිණුමක තබා ගැනීමේ හැකියාව තිබේ. එවිට විදෙස් මුදල් අත ඇති අයෙකුට පෙර කී වාසිය අහිමි නොවන අතර මහ බැංකුවට දේශීය බැංකු හරහා ඒ විදෙස් මුදල් මිලදී ගෙන විදෙස් විණිමය හිඟයෙන් කොටසක් ආවරණය කර ගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා අපනයනකරුවන් වෙත මෙවැනි බලපෑමක් කිරීමට රජයට සිදුව ඇත්තේ ඇයිද යන්නයි.


මේ අවස්ථාවේදී යමෙකු ඩොලර් රුපියල් බවට නොහැරවීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එහෙත්, දේශීය බැංකුවක ඩොලර් වශයෙන් නොරඳවා රටින් පිටත මෙවැනි අරමුදල් තබා ගැනීමට පෙළඹීම එයින් පැහැදිලි නොවේ. දේශීය බැංකු ඩොලර් තැන්පතු සඳහා ලබාදෙන පොලිය සාමාන්‍යයෙන් විදෙස් බැංකුවකින් ලැබෙන පොලියට වඩා වැඩිය.

කිසියම් ක්‍රමයකින් ඩොලර් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඩොලර් වියදම් කිරීමටද සාමාන්‍යයෙන් අවශ්‍ය
. ඒ අතින්, මේ බොහෝ දෙනෙකු විදෙස් විණිමය උපයන අනෙක් ප්‍රධාන කණ්ඩායම වන (බහුතරය අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් වන) මැදපෙරදිග ඇතුළු රටවල වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වෙනස්ය.

ලංකාවේ විශාල ව්‍යාපාර ජාල බොහොමයක්ම සතුව අපනයන ව්‍යාපාර මෙන්ම ආනයන ව්‍යාපාරද තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අපනයන ආදායම් ආනයන වියදම් වෙනුවෙන් හිලවු කරගැනීම වාසිදායකය. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අමතරව පෞද්ගලික අවශ්‍යතා සඳහා විදෙස් විණිමය අවශ්‍යය. උදාහරණ ලෙස මේ බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන අතර, විදෙස් රටකට යම් කලෙක සංක්‍රමනය වීම තවත් ඇතැම් අයගේ අරමුණකි. රටින් පිටත ගිණුමක් පවත්වා ගැනීම රට තුළට ඩොලර් ගෙන එනවාට වඩා මේ කටයුතු වලට පහසුය.

දේශීය බැංකු වල ව්‍යවහාර මුදල් ගිණුමකින් මුදල් ලබා ගැනීම විදෙස් රටක ඇති ගිණුමකින් මුදල් ගන්නා තරමටම පහසුනම් රට තුළට මුදල් ගෙන ඒමේ විශේෂ අවාසියක් නැත. එහෙත්, එසේ නොකිරීමෙන් පෙනෙන්නේ එක්කෝ එවැනි පහසුවක් නැති බවය. එසේ නැත්නම් මේ ගිණුම් වලින් මුදල් ආපසුගැනීම අපහසුබව මේ පිරිස විශ්වාස කරන බවය.


ඇතැම් විට ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලනික හේතු මත රටේ ආර්ථිකය අස්ථාවර කිරීම සඳහා රුපියලට පීඩනයක් එල්ල කිරීමට මෙවැන්නක් කරනවා හා/හෝ එසේ කරන බව රජය සිතනවා වීමටත් ඉඩක් තිබේ. එවැනි තත්ත්වයක් ඇත්නම් එයින් පෙනෙන්නේ අපනයනකරුවන් පවතින රජය සමඟ අප්‍රසාදයෙන් සිටින බවයි. රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස අපනයනකරුවන්ට වාසිදායක නිසා එසේ ක්‍රියාකරන්නට ඔවුන්ට දේශපාලනික හේතු තිබිය හැකි වුවත් ආර්ථික හේතුනම් තිබිය නොහැකිය.

මේ සියල්ලටම වඩා තත්ත්වය භයානක වන්නේ අපනයන ආදායම් රටින් පිටත රඳවාගැනීම බොහෝ අපනයනකරුවන් විසින් විශාල ආර්ථික අර්බුදයක් ළඟ එන බව විශ්වාස කිරීමේ පිළිබිඹුවක් වන්නේනම්ය. විශාල ආර්ථික අර්බුදයක් හේතුවෙන් රටේ බැංකු පද්ධතිය අර්බුදයට ලක් වුවහොත් සිය තැන්පතු විදෙස් ව්‍යවහාර මුදලකින් තැන්පත් කර තිබුණේ වුවද ඒ මුදල් ආපසු ලැබීම පිලිබඳ සහතිකයක් නැත. යමෙක් එසේ සිතන්නේනම් බොහෝ විට පෙළඹෙන්නේ සිය අරමුදල් රටින් පිටත රඳවා තබා ගැනීමටය. අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.

නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ.

අපනයනකරුවෙකුට ඉහත නියාමන ක්‍රියාමාර්ගයේ බලපෑමෙන් ගැලවී විදෙස් විණිමය රටින් පිටත රඳවා ගැනීම අපහසු කාර්යයක් නොවේ. කළයුත්තේ රටේ සාර්ව-ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්වාසය ගොඩනංවා සිය කැමැත්තෙන්ම අපනයන
දායම් රට තුළට ගෙන එන්නට පෙළඹවීමක් ඇති කිරීමයි.

(Image: www.therepublicsquare.com)

Wednesday, April 20, 2016

ලංකාවේ බදු


බදු වල ඉතිහාසය රාජ්‍යය නමැති ව්‍යුහයේ ඉතිහාසය තරමටම පැරණිය. රාජ්‍යයක් පවත්වාගෙන යාමේ පිරිවැය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ අදාළ රටේ මහජනතාවගෙන් අය කරගන්නා බදු වලිනි.

බදු අයකර ගැනීම විවිධ ආකාරයන්ගෙන් සිදු කෙරේ. ඇතැම් බදු සෘජු බදු වන අතර තවත් ඇතැම් බදු වක්‍ර බදු වේ.

යම් බද්දක් හා අදාලව බදු පදනමක් හා බදු ආකෘතියක් තිබේ. බදු පදනම යනු බද්ද අය කර ගන්නේ කුමක් මතද යන්නයි. මෙය යම් පුද්ගලයකුගේ ආදායම, දේපල වටිනාකම, වැටුප හෝ මිලදී ගන්නා භාණ්ඩයක මිල විය හැකිය. බදු ආකෘතිය යනු මෙසේ අර්ථ දක්වන බදු පදනම මත බදු අය කෙරෙන ක්‍රමයයි. උදාහරණයක් ලෙස යමෙකුගේ ආදායමෙන් පළමු රුපියල් ලක්ෂය මත 10%ක් හා වැඩිවන ආදායම මත 15%ක් යන්න බදු ආකෘතියකි.

බොහෝ විට යම් බද්දක් රජය විසින් අය කර ගන්නේ එය සැබෑවටම 'ගෙවන' පුද්ගලයාගෙන් නොවේ. බද්දක් සැබෑවටම ගෙවන්නේ කවුද යන්න තීරණය වන්නේ බදු පදනම මත බලපෑමක් කරන ඉල්ලුම් සැපයුම් සාධක මඟිනි. මෙය බැලූ බැල්මට හතර බීරි කතාවක් මෙන් පෙනෙන නිසා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරමි.


රත්නසිරි රුපියල් පණහක් වැය කර කෙසෙල් කැනක් නිෂ්පාදනය කරයි. හේමලතා එය රුපියල් එකසිය පණහකට මිල දී ගනී. රත්නසිරිට මේ වෙළඳාමෙන් රුපියල් සියයක ලාබයක් ලැබේ.

රජය හිටිවනම කෙසෙල් නිෂ්පාදකයන්ට කෙසෙල් කැනකට රුපියල් පණහක බද්දක් පණවයි. මේ බද්ද රජය විසින් අයකර ගන්නේ රත්නසිරිගෙනි. එහෙත්, මේ බද්දේ පිරිවැය ඇත්තටම දරන්නේ රත්නසිරිමද?

මෙය තීරණය වන්නේ හේමලතාට කෙසෙල්කැන කෙතරම් දුරට අවශ්‍යද යන කරුණ මතය. හේමලතා කෙසෙල් කැනට ගෙවන්නට කැමති වැඩිම මුදල රුපියල් එකසිය පණහනම් රත්නසිරිට වෙන්නේ බද්දේ පාඩුව දරාගෙන කලින් මිලටම කෙසෙල් කැන විකුණනන්නටය. එහෙත්, හේමලතාට මේ කෙසෙල් කැන නැතුවම බැරිනම් රත්නසිරිට එහි මිල රුපියල් දෙසීය දක්වා වැඩි කර පෙර ලාභයම ලබා ගත හැකිය. එවිට, බද්ද රජයට ගෙවන්නේ රත්නසිරි වුවත් සැබෑවටම එහි පාඩුව ඇත්තේ හේමලතාටය.

ඉහත උදාහරණයේදී රජය විසින් බද්ද අය කර ගන්නේ නිෂ්පාදකයා වන රත්නසිරිගෙන්ද නැත්නම් පාරිභෝගිකයා වන හේමලතාගෙන්ද යන්න වැදගත් කරුණක් නොවේ. හේමලතාට කෙසෙල්කැන ගන්නටම අවශ්‍යනම් බද්දේ බර දරන්නට වෙන්නේ ඇයටය. රත්නසිරිට කෙසෙල් කැන විකුනන්නටම අවශ්‍යනම් එහි බර ඔහුට දරාගැනීමට සිදුවේ.


මෙවැනි බොහෝ අවස්ථාවල ප්‍රායෝගිකව සිදුවන්නේ බද්දක බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදීයාමයි. රත්නසිරිට කෙසෙල් කැනෙහි මිල රුපියල් පණහකින්ම වැඩිකිරීම අපහසු වුවත් විස්සකින් හෝ තිහකින් වැඩි කළ හැකි වනු ඇත. ගණුදෙනුව සිදු කිරීමට වැඩිම අවශ්‍යතාවය ඇති තැනැත්තාට බද්දේ බරින් වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇත.

වෙනත් බදු වලට අදාලවද සිදු වන්නේ මෙවැන්නකි. ඔබේ වැටුප මත බදු මුදලක් අය කෙරෙන විට ඔබට අතට ලැබෙන මුදල අඩුවේ. එහෙත්, එසේ අතට ලැබෙන අඩු මුදල වෙනුවෙන් වැඩ කරන්නට ඔබ සූදානම් නැත්නම් සහ ඒ මුදලට වැඩ කරන්නට කැමති වෙනත් අයෙක් නැත්නම් ඔබේ ආයතනයට ඔබේ වැටුප වැඩි කිරීමට සිදුවේ. එවිට බද්දේ බර ඇත්තටම දරන්නේ ආයතනයයි. එමෙන්ම, ආනයන සඳහා බදු වැඩි කළත් එම ආනයන වලට රට තුළ ඉල්ලුමක් ඇත්නම් බදු බර දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටය. මෙහිදී පාරිභෝගිකයින් සෘජුව මේ බද්ද නොගෙවුවත් ඔවුන් ගෙවන මිලට ආනයන බද්ද ඇතුළත් වී තිබේ.



2016 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,646කි. තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ මුදල රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් 79,613කි. සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 318,452කි. වෙනත් අයුරකින් කිවහොත් රටේ රජයක් නැත්නම් සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට දැනට ලැබෙන ආදායමට වඩා රුපියල් 318,452ක මුදලක් ඉතිරි වනු ඇත.

ඉහත රුපියල් 79,613ක මුදල රජය විසින් අය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් පරිද්ද්දෙනි.

-ආදායම්, පොලී හා ලාභ මත අයකරන බදු: රුපියල් 12,174
-ජාත්‍යන්තර වෙළඳාම මත අයකරන බදු: රුපියල් 16,641
-දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු: රුපියල් 47,073
-බලපත්‍ර හා වෙනත් බදු: රුපියල් 3,725

රජයේ වියදමින් වැඩිම කොටසක් ආවරණය කරගන්නේ දේශීය භාණ්ඩ හා සේවා මත අයකරන බදු මඟින් බව පැහැදිලි කරුණකි. ඒ යටතේ පහත බදු වර්ග ඇතුළත් වේ.
-වැට් බදු: රුපියල් 11,608
-මත්පැන්: රුපියල් 6,771
-දුම්වැටි: රුපියල් 4,111
-රථවාහන: රුපියල් 13,543
-පෙට්‍රෝලියම් නිෂ්පාදන: රුපියල් 1,835
-විදුලි සංදේශ බදු: රුපියල් 2,031

ඉහත ඇස්තමේන්තු වලින් රථවාහන මඟින් අය කරගැනීමට අපේක්ෂා කළ බදු ආදායම පසුව සිදු කළ සංශෝධන නිසා නොලැබෙනු ඇති බව මගේ අදහසයි. මේ පාඩුව අයකර ගනු ඇත්තේ වැට් බද්ද වැඩි කිරීමෙනි. අවසාන වශයෙන් මේ බදු බරින් වැඩි කොටසක් දරන්නේ රටේ අඩු හා මැදි ආදායම් ලබන ජනතාවයි.

මේ සංඛ්යල්ඛණ වල නොපෙනෙන කරුණක්ද තිබේ. රජයයන් විසින් බොහෝ විට මෙසේ එකතු කරගන්නා බදුමුදල් වලට අමතරව 'නැති මුදල්' ද සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කිරීම සුලභ සිදුවීමකි. මෙසේ නැති මුදල් වැය කරන එක් ක්‍රමයක් වන්නේ අනාගත බදු මුදල් වලින් පියවන්නට ණය ගැනීමයි. දෙවන ක්‍රමය මුදල් අච්චු ගැසීම මඟින් මුදලේ වටිනාකම අඩුකර ඔබේ අතේ ඇති මුදලින් කොටසක් නොපෙනෙන ලෙස හොරකම් කිරීමයි. බදු හරහා මුදල් අය කර ගැනීම ඒ ක්‍රම දෙකටම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.


(Images: www.infinitec.org)